දේශීය

අනුර ප්‍රියදර්ශන ඇතුළු විත්තිකරුවන්ට අධිචෝදනා භාර දෙයි

හිටපු ඛනිජතෙල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශනය යාපා මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර අද (21) කොළඹ මහාධිකරණය හමුවේ භාරදෙනු ලැබුවා.

මොවුන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත්තේ 2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් අනීතික ලෙස තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේයි.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේදීයි මෙම අධිචෝදනා භාරදීම සිදුවූයේ.

එහිදී විනිසුරුවරයා නියම කළේ එක් එක් විත්තිකරුවන්ට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකනු ලබාගෙන වාර්තා කැඳවීමට ද විනිසුරුවරයා විසින් නියම කරනු ලැබුවා.

පසුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් මස 01 වනදා කැඳවීමටයි නියම වුණේ.

2014 වසරේ දෙසැම්බර් මස 26 වනදා ජනවාරි මස 26 වනදා අතර කාලසීමාව තුළ ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් 6,146,110/- ක මුදලක් අනීතික ලෙස වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් එවක ඛනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අනුර ප්‍රියදර්ශනය යාපා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව චෝදනා 05ක් යටතේ මෙම නඩුව ගොනුකර තිබෙනවා.

Shares: