වර්තමාන ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් සිටින බවත්, තරාතිරම නොබලා නීතිය එක ලෙස ක්‍රියාත්මක වෙන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
පොලිස්පති ද? නියෝජ්‍ය පොලිස්පති ද? හිටපු ජනාධිපති ද ඊට අදාළ නොවන බවයි අද (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
කවුරුන් හෝ වරදක් කර ඇත්නම් නීතිය ඉදිරියට ඔවුන්ව ගෙන ඒමට පසුබට නොවන බව ද කී අමාත්‍යවරයා සඳහන් කළේ මේ වනවිට සිදුවෙමින් ඇත්තේ එලෙස වැරදි කරන ලද පිරිස් තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන ඒම බවයි.
ආණ්ඩුව රට භාරගන්නා අවස්ථාවේ ආර්ථික බංකොලොත්භාවයක් පමණක් නොව, සමාජ, දේශපාලනික වශයෙන් රට තුළ බංකොලොත් වී සිටි බවත් සමාජ පරිහානියට ලක්වෙමින් තිබූ රටක් ජාතික ජන බලවේගය භාරගත් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මාස 8 – 10ක් වැනි කාල සීමාවක් තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආර්ථික ස්ථාවරත්වයක් රට තුළ ඇති කර ඇති බවත්, අපනයන ආදායම ඉහළ ගොස් දේශීය ආදායම වැඩි වී ඇති බවත්, උද්ධමනය පාලනය වී, සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය වී ඇති බවත් ඒ අනුව රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට රජයක් ලෙස වත්මන් ආණ්ඩුව ක්‍රියාකර ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ.
එමෙන්ම සුබ සාධන හා සමාජ රැකවරණය මෙන්ම ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගැනීම ආණ්ඩුව ලැබූ ජයග්‍රහණයක් බවත් පැවසු අමාත්‍යවරයා, සෑමවිටම වින්දිතයින්ට සාධාරණයක් ඉටුවිය යුතු බවත්, සාධාරණත්වය මත පදනම් වූ රාජ්‍ය පාලනයක් ජාතික ජන බලවේගය ඇති කරමින් සිටින බවත් පැවසුවා.
ඒ අනුව විජේපාල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සෑම වින්දිතයෙකුටම සාධාරණත්වය, යුක්තිය ඉටු කරන බවට වූ සහතිකය රජයක් ලෙස ලබාදෙන බවයි.










