හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් සහ ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා නෝර්වේ ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි.
එමෙන්ම 2022 දී ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේ ශ්‍රී ලංකාව බේරා ගැනීමට නැගී සිටි නායකයා ඔහු වන බවත් සිය x සටහන මඟින් පෙන්වා දෙනවා.
දූෂණයට එරෙහි ශ්‍රී ලංකා රජයේ ව්‍යාපාරයට තමන් පූර්ණ සහයෝගය ලබා දෙන නමුත්, සැබෑ ගැටළු කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි සෝල්හයිම් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඔහු තැබූ සම්පූර්ණ සටහන පහතින්,
කරුණාකර රනිල් වික්‍රමසිංහ වහාම නිදහස් කරන්න!
”ශ්‍රී ලංකාවේ, දකුණු ආසියාවේ සහ ලොව පුරා සිටින බොහෝ නායකයින් සමග එක්ව, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වහාම නිදහස් කරන ලෙස මම ඉල්ලා සිටිමි. රඳවා තබාගෙන සිටින කාලය තුළ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අප සියලු දෙනා කනස්සල්ලට පත්ව සිටිමු.
2022 වසරේදී රට දරුණුතම ආර්ථික හා දේශපාලන ව්‍යසනයකට මුහුණ දුන් විට ශ්‍රී ලංකාව බේරා ගැනීමට නැගී සිටි නායකයා රනිල් විය.
රනිල්ට එරෙහි චෝදනා පදනම් විරහිත ය. ඒවා සත්‍ය වුවද, යුරෝපයේ අපරාධයක් හෝ පිළිගත නොහැකි හැසිරීමක් ලෙස ඒවා නොසැලකේ.
දූෂණයට එරෙහිව ශ්‍රී ලංකා රජය දියත් කරන ව්‍යාපාරයට මම පූර්ණ සහයෝගය ලබා දෙමි, නමුත් එය සැබෑ ගැටලු කෙරෙහි අවධානය යොමු කළ යුතුය!”











