දේශීය

විදුලිබල සේවකයින්ට ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයක් හඳුන්වා දේ

නව විදුලි බල පනතට අනුව, සමාගමකට අනුයක්ත වීමට අකමැති ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් සඳහා ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් 2025 ශ්‍රී ලංකා විදුලි බල ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයේ නියම සහ කොන්දේසි නියෝග යනුවෙන් ඊට අදාළ නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ නව පනතේ ප්‍රතිපාදනවලට අනුව විදුලිබල මණ්ඩලය සමාගම් 4කට ප්‍රතිව්‍යුහගත කර ඇති අතර සියලු සේවකයින් අදාළ සමාගම් 4ට අනුයුක්ත කරමින් ලිපි නිකුත් කර ඇති බව සඳහන්.

අදාළ අනුප්‍රාප්තික සමාගමට අනුයක්ත වීම ස්වකීය තේරීම නොවන සේවකයින් සඳහා ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම යාම සඳහා හිමිකම් ලැබෙන බවයි බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

අදාළ දැනුම් දීම මාස දෙකක් ඇතුළත සිදුකළ යුතු අතර සේවා නියුක්තිකයෙකු විසින් ඊට අදාළ ආකෘති පත්‍රය පුරවා සිය අයදුම් පත්‍රය මඟින් අදාළ දැනුම් දීම සිදුකළ යුතු බව සඳහන්ය.

ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමය යටතේ වන්දි මුදල් ප්‍රධානය කිරීමේ ක්‍රම පිළිබදව ද බලශක්ති අමාත්‍යංශය විසින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව වසර 10ක් හෝ වසර 10කට වඩා වැඩි සේවා කාලයක් ඇති සේවා නියුක්තිකයින් සඳහා පසුගිය සේවා කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස දෙකක වැටුප සහ සේවය කළ හැකිව තිබු ඉතිරි කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස එකහාමරක වැටුප හිමිවන බව වැඩිදුර සඳහන් ය.

වසර 10කට අඩු සේවාකාලයක් ඇති සේවා නියුක්තිකයින් සඳහා පසුගිය සේවා කාලයේ සෑම මාස 12ක් සදහාම මාස 05ක වැටුප සහ සේවය කළ හැකිව තිබු ඉතිරි කාලය සඳහා ගෙවීමක් සිදුනොකරන බව ද බලශක්ති අමාත්‍යංශය දැනුම් දී ඇති.

මෙම නියෝගයට අනුව ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන සේවකයෙකු සදහා වන වන්දි මුදල රුපියල් ලක්ෂ 9ක අවම සීමාවකට සහ රුපියල් මිලියන 5ක උපරිම සීමාවකට යටත්ව ගෙවීම සිදුවිය යුතු බව සඳහන්ය.

නමුත්, අදාළ විශ්‍රාම යාම සම්බන්ධයෙන් අවසන් නිර්දේශ මෙතෙක් නිකුත් කර නොමැති බව වාර්තා වනවා.

Shares: