දේශීය

රාජිතට හා ලන්සාට කෑම ගෙදරින් ගෙනත් කන්න අවසර

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න සහ නිමල් ලන්සා යන අයට නිවසේ සිට ගෙනෙනු ලබන ආහාර පරිභෝජනයට අවසර දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ පුද්ගලයන් දෙදෙනා විසින් සිදු කරන ලද විධිමත් ඉල්ලීම්වලට අනුව මෙම අවසරය ලබා දුන් බවයි බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබා දීමෙන් රජයට රුපියල් මිලියන 20කට අධික මූල්‍ය අලාභයක් සිදු කළ බවට වූ චෝදනා සම්බන්ධයෙන් මේ වන විට සැප්තැම්බර් 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

එමෙන්ම, නිමල් ලන්සා මහතා 2006 පළාත් පාලන මැතිවරණ සමයේ දී හිටපු මීගමුව නගරාධිපතිවරයාගේ නිවසට පහර දීමක් සම්බන්ධයෙන් වූ චෝදනා මතයි සැප්තැම්බර් 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ.

Shares: