මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ලෙස හැඟෙන ජායාරූප හා ව්‍යාජ ප්රවෘත්ති සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.
විදෙස් ගතව සැඟව සිට ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධ මෙහෙයවීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බව කියන කිහිප දෙනෙකු ශ්‍රී ලංකා පොලීසිය හා ඉන්දුනීසියානු පොලීසිය ඒකාබද්ධව සිදුකරන ලද මෙහෙයුමක් මගින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය දා ඉන්දුනීසියාවේ දීයි.
එම අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පිරිස 2025.08.30 වන දින ශ්‍රී ලංකාවට රැගෙන එන ලද අතර එම අවස්ථාවේදී අදාළ මෙහෙයුමට සක්‍රීයව දායක වූ ඉන්දුනීසියානු පොලීසියේ නිලධාරින් කණ්ඩායමද දිවයිනට පැමිණියා.
එම අවස්ථාවේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයට පැමිණ සිටියේ මෙම මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලීසියේ නිලධාරීන්ට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ස්තූතිය පළ කිරීමට හා ශ්‍රී ලංකා පොලිසියේ මේ සඳහා දායක වූ නිලධාරීන් ඇගයීම සඳහායි.
එහිදී මෙම අවස්ථාවට අදාළ වන ලෙස ව්‍යාජව සකස් කරන ලද අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ජායාරූපයක් සහ අපහාසාත්මක අයුරින් හා ද්වේශ සහගත ලෙස සකස් කරන ලද ප්රවෘත්ති මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව නිරීක්ෂණය වී ඇති බවයි පොලීසිය දැනුම් දී ඇත්තේ.
මෙලෙස මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට අපහාස කිරීමේ අරමුණින් ද්වේශ සහගත හා අපහාසාත්මක ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්රවෘත්ති හා ඡායාරූප පළ කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් 2025.08.31 වන දින පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත පැමිණිල්ලක් සිදු කරමින් මෙලෙස කටයුතු සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව පොලිස්පතිවරයා විසින්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම ව්‍යාජ ප්රවෘත්ති සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර අදාළ පුද්ගලයින්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ.











