දේශීය

2025 වසරේ පළමු මාස 07ට අල්ලස් ගත් 49ක් මාට්ටු

මේ වසරේ පළමු මාස 07 තුළ අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

අදාළ කාලසීමාව තුළ එම කොමිෂන් සභා වෙත පැමිණිලි 3,937ක් ලැබී ඇති අතර එම පැමිණිලිවලින් වැටලීම් 72ක් සිදුකර ඉන් 39ක් සාර්ථක කර ගැනීමට හැකිවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් වන අතර පොලිස් නිලධාරීන් 17 දෙනෙකු ඒ අතර වනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ අධිකරණ අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ලංකා ගමනා ගමන මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල යන රාජ්‍ය ආයතනවලින් ද මෙසේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඊට අමතරව මේ වසරේ පළමු මාස 7 තුළ සිදුකළ විමර්ශනවලදී පුද්ගලයින් 39දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර හිටපු අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන්, වෛද්‍යවරුන් ඇතුළු පුද්ගලයින් වන බවයි එම කොමිශන් සභාව කියා සිටියේ.

ඊට අමතරව ගතවූ කාලය තුළ පුද්ගලයින් 27 දෙනෙකු අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අධිකරණ මගින් වරදකරුවන් කර ඇති බව ද සඳහන්.

Shares: