දේශීය

ගොඩගැසී ඇති නඩු භාණ්ඩ දෙසැම්බර් 31ට පෙර නිෂ්කාශනය කළ යුතුයි – අධිකරණ සේවා කොමිෂන් සභාව

අධිකරණවල ගොඩගැසී පවතින නඩු භාණ්ඩ මේ වසරේ දෙසැම්බර් 31වන දිනට පෙර නිෂ්කාශනය කළයුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

සියලුම දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් සහ මහාධිකරණ විනිසුරුවරුන් වෙත මෙම දැනුම් දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීම පසුගිය දිනවල සිදුවූ අතර එම කොමිෂන් සභාව විනිසුරුවරුන්ට දැනුම් දී ඇත්තේ ඒවා කඩිනමින් නිෂ්කාශනය කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙසයි.

අධිකරණවල පරිපාලනමය වගකීම පැවරී ඇති දිසා විනිසුරුවරු මහෙස්ත්‍රාත්වරු, මහාධිකරණ විනිශ්චයකාරවරුන් සහ අධිකරණවල සේවය කරනු ලබන අතිරේක දිසා විනිසුරුවරුන් මෙන්ම අතිරේක දිසා විනිසුරුවරුන් තමාගේ අධිකරණයේ පවතින නඩු භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ සෘජු වගකීමට යටත් වන බව එම කොමිෂන් සභාව පෙන්වා දෙනවා.

එම නිෂ්කාශනය කටයුතු පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථානීය නිෂ්කාශනයක් මගින් සොයාබැලීමට නියමිත අතර මාසිකව ප්‍රගති වාර්තාවක් යොමුකරන ලෙස ද සියලු විනිසුරුවරුන් වෙත අවධාරණය කර ඇති බව සඳහන්.

නඩු භාණ්ඩ පිළිබඳව නිවැරදි වාර්තා සැකසීම සහ නඩු භාණ්ඩ නිෂ්කාශනය කිරීම සියලු අධිකරණවල සමස්ත කාර්ය මණ්ඩලයේ පුද්ගලික සහ සාමූහික වගකීමක් වන අතර පවරන රාජකාරී ඉටු නොකරන කාර්ය මණ්ඩලයේ සේවකයින් සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරන බවයි එම කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

Shares: