ඇල්ල-වැල්ලවාය බස් රථ අනතුරින් මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිටින බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ මහතා පවසනවා.
ඇල්ල- වැල්ලවාය මාර්ගයේ, ඇල්ල සහ රාවණාඇල්ල අතර කොටසේ 15 වැනි කණුව ආසන්නයේදී ඊයේ රාත්‍රියේයි මෙම බස් රථය ප්‍රපාතයකට පෙරලී ගොස් අනතුරට ලක්ව තිබුණේ.
අනතුරින් මේ වනවිට මිය ගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ ඒ අතර කාන්තාවන් 9 දෙනෙකු සිටින බවයි.
අනතුරින් තුවාල ලැබූ 18 දෙනෙකු බදුල්ල රෝහල වෙත අතුළත් කෙරුණා.
ඒ අතර කුඩා ළමුන් 05 දෙනෙකු සහ කාන්තාවන් 07 දෙනෙකු සිටින බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
තුවාල ලැබූවන් අතර සිටින 10 දෙනෙකුගේ තත්ත්වය ඉතා බරපතල බව බදුල්ල රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසුවා.
තුවාල ලැබූවන්ගෙන් බහුතරයක් අත් පා අහිමි වී ඇති බවයි ඔහු අනාවරණය කළේ.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ දැඩිසත්කාර ඒකකය තුල ප්‍රතිකාර ලබන පිරිස තවමත් නිවැරදිව කිව නොහැකි බවත්, දහවල් වන විට එය නිවැරදිව සංඛ්‍යාව ප්‍රකාශ කළ හැකි බවයි.
මෙලෙස අනතුරට ලක්වුණේ ඊයේ අලුයම විනෝද චාරිකාවක් ගොස් යළි පැමිණෙමින් සිටි තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක්.
ඊයේ රාත්‍රියේ 09ට පමණ සිදු වූ අනතුරින් බස්රථය අඩි 1000ක පමණ ප්‍රපාතයකට ඇදීගොස් තිබෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
එහි සිටි පිරිස් බේරාගැනීම සඳහා ප්‍රදේශවාසීන්, පොලිසිය, යුද හමුදාව මෙන්ම ගුවන් හමුදාවද එක්වූවා.
කඹ ආධාරයෙන් දැඩි පරිශ්‍රමයක් යොදා පිරිස් අදාළ ස්ථානයට ළගා වූ අතර ඉදිරියෙන් ගමන්ගත් ජිප් රථයක වැදීමත් සමග බස් රථය මෙලෙස ප්‍රපාතයකට පෙරලුණු බවයි සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කළේ.
අනතුරුව තුවාලකරුවන් බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා.
තවද පොලිසිය පැවසුවේ බස් රථයේ පිරිස මුදාගැනීම සඳහා සහාය වූ පුද්ගලයින් දෙදෙනෙකු ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුලත් කර ඇති බවයි.
අනතුරේ නිරීක්ෂණ කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් බීඡ් ක්‍රාෆ්ට් වර්ගයේ යානයක් ද යෙදවීමටයි පියවර ගෙන තිබෙනවා.
එසේම, බරපතල තුවාල ලබා සිටින පුද්ගලයින් කොළඹට රැගෙන ඒමට අවශ්‍ය වුවහොත් ඒ සදහා එම් අයි සෙවන්ටීන් වර්ගයේ හෙළිකොප්ටර් යානයක් දියතලාව ගුවන් හමුදා කදවුරේ ස්ථානගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
එමෙන්ම අනතුරට සම්බන්ධ ජිප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.











