උණුසුම් පුවත්

රවී කරුණානායකට එරෙහි නඩුවක් කල්යයි

හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක මහතාට හා පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා ජනවාරි 16 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද (12) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේදීයි කැඳවනු ලැබුවේ.

එහිදී පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.

ඉන් අනතුරුව විනිසුරුවරයා කටයුතු කළේ වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි 16 වනදා දක්වා කල් තැබීමටයි.

2016 වසරේ පෙබරවාරි මස 12 වනදා සහ එම වසරේ සැප්තැම්බර් මස 30 වන දා දක්වා කාලසීමාව තුළ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විත්තිකාර රවී කරුණායක මහතා අදාළ නඩුවේ දෙවන විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂවරයෙකු ලෙස ක්‍රියා කරන පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක පදිංචිව සිටීම තුළින් අල්ලස් පනතේ 19 (ඇ) වගන්තිය යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමිනුයි අල්ලස් කොමිසම විසින් රවි කරුණාක මහතාට එරෙහිව චෝදනා එල්ල කර ඇත්තේ.

එමෙන්ම එම කටයුත්තට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් දෙවන විත්තිකාර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිව එම කොමිසම විසින් අධිචෝදනා ඉදිරිපත් කර තිබෙනවා.

Shares: