දේශීය

අයිස් අමුද්‍රව්‍ය බවට සැක රසායනික ද්‍රව්‍ය ගැන පරීක්ෂණ වාර්තාව දින දෙකකින්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සොයාගනු ලැබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදාගනු ලබන බව කියන රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව ඉදිරි දින දෙක තුළ ලබාදෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.

මේ වන විට අදාළ ද්‍රව්‍යවල සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි එහි සභාපති වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතා සඳහන් කළේ.

පසුගියදා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගනු ලැබූ අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන් හෙළිවූ තොරතුරු මත මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා බවට සැකකෙරෙන රාසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගනු ලැබුවා.

ඉන් අනතුරුව පෙරේදා දිනයේ තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී මෙවැනිම ද්‍රව්‍ය තොගයක් සොයාගත් අතර කදාන ප්‍රදේශයේ දී ද එවැනි ද්‍රව්‍ය තොගයක් සොයා ගනු ලැබුවේ ඊයේ (08) දිනයේයි.

මෙම ද්‍රව්‍යවල සාම්පල මේ වන විටත් ලබාගෙන ඇති අතර එහි පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතා සඳහන් කළේ.

Shares: