ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සගයෙකුවන අමෙරිකානු දක්ෂිණාංශික ක්‍රියාකාරිකයෙකු සහ විචාරක චාලි කර්ක් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
උටා (Utah) විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී ගෙලට මාරාන්තික වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙනුයි ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
31 හැවිරිදි චාලි දේශපාලන ප්‍රවර්ධන එළිමහන් විවාද පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලනවා.
අන්තර්ජාලයේ පළ කරන ලද ඝාතනයේ වීඩියෝ දර්ශනවල පෙන්නුම් කර ඇත්තේ, ඔහු විශ්ව විද්‍යාලයේ එළිමහන් ජනකායක් අමතමින් සිටියදී එරට වේලාවෙන් දහවල් 12:20ට පමණ වෙඩි හඬක් නැඟුණු ආකාරයයි.
කර්ක් පුටුවෙන් වැටෙන විට ඔහුගේ අත ඔහුගේ බෙල්ල දෙසට ගෙන යන බවත්, සහභාගී වූවන් දුවමින් සිටි බවත්, එම දර්ශනවල පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
වෙඩික්කරු වහලයක සිට වෙඩි තබන්නට ඇති බව බලධාරීන් සඳහන් කර ඇති අතර, උත්සවයට 3,000ක පමණ පිරිසක් රැස්ව සිටි බවට සඳහන්.
විශ්ව විද්‍යාල පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජෙෆ් ලෝන්ග් පැවසුවේ, උත්සවය සඳහා නිලධාරීන් හය දෙනෙකු සිටි බවයි.
එෆ් බී අයි අධ්යක්ෂවරයා සඳහන් කළේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.










