වසා දමා තිබූ නේපාලයේ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් යළි විවෘත කිරීමත් සමගම යළිත් ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 181 දරණ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව ගියේ අද (11) උදෑසන 08.15 ටයි.
එම ගුවන් යානය අද දහවල් 11.41 ට නේපාලයේ කත්මණ්ඩු නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමිත අතර එම යානය යළිත් එරට සිටින ගුවන් මගීන් රැගෙන අද පස්වරු 04.40 ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමටයි නියමිත වන්නේ.
නේපාලයේ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවය පමණක් ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කරන අතර එම ගුවන් ගමන් සෑම සතියකම දින 04 ක් , එනම් ඉරිදා, සදුදා, බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල ක්‍රියාත්මක වනවා.
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් ඊයේ දින අත්හිටුවීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පියවර ගෙන තිබුණේ නේපාලයේ පැවති අරගලකාරී තත්ත්වය මත එරට ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වසා දැමීමත් සමගයි.
ඒ අනුව ඊයේ උදෑසන නේපාලයේ කත්මණ්ඩු නුවර වෙත යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතිරික්ත ගුවන් මගීන් 35 දෙනෙකුට නවාතැන් සහ හෝටල් පහසුකම් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ලබා දී තිබුණා.











