හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක් සහ මාස තුනක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
හිටපු නායකයා වරදකරු බවට තීන්දු කර පැය කිහිපයකට පසුවයි පස් දෙනෙකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම දඬුවම නියම කළේ.
එහිදී විනිසුරුවරුන් සිව් දෙනෙකු ඔහු වැරදිකරු බව තීරණය කළ අතර, එක් අයෙකු ඔහු නිදහස් කිරීමට ඡන්දය ලබා දී තිබුණා.
2022 මැතිවරණයෙන් ඔහුගේ වාමාංශික ප්‍රතිවාදියා වූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා හමුවේ පරාජය වීමෙන් පසු බලයේ රැඳී සිටීම සඳහා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීම හේතුවෙනුයි ඔහු මෙලෙස වරදකරු බවට තීන්දු කළේ.
මේ වනවිට නිවාස අඩස්සියේ සිටින බොල්සොනාරෝ නඩු විභාගය සඳහා සහභාගී කර තිබුණේ නැහැ.
මෙම තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ කියා සිටියේ, මෙම තීන්දුව අසාධාරණ සහ මායාකාරී දඩුවමක් බවයි.










