පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
1964 වසරේ ඉදිකර ඇති පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ මෙලෙස පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක්වන්නේ වසර 60කට පසුවීම විශේෂත්වයක්.
ගුවන් හමුදාව විසින් සිදුකෙරෙන එහි නවීකරණ සහ ඉදිකිරීම් කටයුතු සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 424ක් වනවා.
මාස 8 ක කාලයක් එහි නවීකරණ කටයුතු සිදුකිරීමට නියමිතව ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා සඳහන් කළේ.
අදාළ නවීකරණය යටතේ බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමට නියමිතයි.
නවීකරණ ව්‍යාපෘතිය හේතුවෙන් ඒකාබද්ධ කාලසටහන් හැර සෙසු ලංගම සේවා බෝධිරාජ මාවතේ අඩි 100 පාරේ සිට තාවකාලිකව ක්‍රියාත්මක කෙරෙනවා.
ඒකාබද්ධ කාලසටහන යටතේ බස් රථ ධාවනය කෙරෙන්නේ බැස්ටියන් මාවතේ පුද්ගලික බස්නැවතුම්පලේ සිටයි.










