උණුසුම් පුවත්

මනූෂගේ පෞද්ගලික ලේකම්ගේ ඇප අවලංගු කරන්න – අල්ලස් කොමිසම

අල්ලස් සිද්ධියකට අදාළව ඇප මත සිටින කම්කරු හා විදෙස් රැකියා හිටපු අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා යළිත් බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම අද (16) අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දීයි.

මෙම සැකකරු විමර්ශනවලට බාධාකර ඇති බවත්, සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති බවත් මෙම සිද්ධියට අදාළ නඩුව අද අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව එම සැකකරුගේ ඇප අවලංගු කර නැවත රක්ෂිත බන්ධනාගාරය භාරයේ තබන ලෙසටයි අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සඳහා සිදුකළ බාහිර පුහුණු වැඩමුළුවක් වෙනුවෙන් තෝරාගත් ආයතනයකින් රුපියල් ලක්ෂ 43 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම මෙම සැකකරුට චෝදනා නගා තිබෙනවා.

එලෙස චෝදනා නගා ඇත්තේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ හිටපු පෞද්ගලික ලේකම්වරයකු වන ගාර්ඩ් හේවගේ දොන් ශාන් යහම්පත් ගුණරත්න නමැත්තාටයි.

මෙම නඩුව මේ වන විටත් අධිකරණයේ කැඳවමින් තිබෙනවා.

Shares: