උණුසුම් පුවත්

Rebuilding Sri Lanka වැඩසටහනට මි. 1,893ක දෙස් විදෙස් ආධාර

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ ආපදාවෙන් රට යථාතත්ත්වයට ගොඩනැඟීම සඳහා ආරම්භ කරන ලද Rebuilding Sri Lanka වැඩසටහනට දේශීය වශයෙන් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ විවිධ ආයතනවලින් මූල්‍යාධාර වශයෙන් රුපියල් මිලියන 1,893ක් ලැබී ඇති බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසනවා.

මෙම සුළි කුණාටුවෙන් හානි වූ ව්‍යාපාර සහ දේපළ වෙනුවෙන් වන්දි ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා වූ සාකච්ඡාවක් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ප්‍රධානත්වයෙන් සහ සියලුම රක්ෂණ ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වූ බවයි ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළේ.

එම සාකච්ඡාවේදී අනාවරණය වූ පරිදි මෙම ආපදා තත්ත්වය තුළ හානියට පත් ව්‍යාපාර, දේපළ සහ ජීවිත වෙනුවෙන් කඩිනමින් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් දැනටමත් සියලුම රක්ෂණ සමාගම් ආරම්භ කර ඇති බවද ලේකම්වරයා සඳහන් කළා.

එහිදී හර්ෂණ සූරියප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසුවේ එම වැඩපිළිවෙළ අනුව සුළු දේපළ හානි වෙනුවෙන් කඩිනමින් වන්දි ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත්, විශාල දේපළ හානි සඳහා වන්දි ගෙවීම, ඊට අවශ්‍ය තොරතුරු රැස්කර ගැනීමෙන් අනතුරුව සිදු කරන බවද, එතෙක් එම වන්දි මුදල්වලින් කොටසක් කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවද රක්ෂණ ආයතන නියෝජිතයන් මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කළ බවයි.

Shares: