දේශීය

හේමසිරි හා පූජිත්ට එරෙහි නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් දැනුම්දීමක්

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාදී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම සඳහා නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම නඩුව අද (18) කොළඹ පූර්වගාමී මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.

එම අවස්ථාවේදී විනිසුරුවරයා සඳහන් කළේ මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරු දෙදෙනකුගේ තනතුරු පුරප්පාඩු වී තිබෙන බවයි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව විභාග කිරීම සඳහා නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් ඉකුත් අගෝස්තු මස 18 වනදා අගවිනිසුරුවරයා වෙත ලිඛිතව ඉල්ලීමක් ඉදිරිපත් කළ බවයි.

ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඒ අනුව මෙම නඩුව වෙනත් දිනයක කැඳවන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම දැනුම්දීම සටහන් කරගත් විනිසුරු වරයා මෙම නඩුව යළි ඔත්තෝබර් මස 23 වනදා කැඳවන ලෙස නියම කළා.

Shares: