යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීමට ගතහැකි සියලුම පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (19) යාපනය මහ නගර සභාවට නියෝග කළා.
යාපනය ප්‍රදේශයේ වෛද්‍යවරියක වූ උමා සුඛී නඩරාජා මෙනෙවිය විසින් ගොනුකොර තිබූ පෙතසමක් විභාගයට ගත් අවස්ථාවේ දීයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.
මෙම නියෝගය නිකුත් කළේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින්.
පෙත්සම කැඳවූ අවස්ථාවේ දී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු අමතමින්, යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීම සම්බන්ධයෙන් පරිසර පනත්වල විධිවිධාන අනුව කටයුතු කර තිබෙනවාදැයි විමසා සිටියා.
ඒ අනුව විනිසුරු මඩුල්ල විසින් යාපනය මහනගර සභාවට දැනුම් දී ඇත්තේ අණ පනත්වල සඳහන් විධිවිධානයන්ට අනුව යාපනයේ පරිසර දූෂණය වැළැක්වීමට කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසයි.
ඊට අවශ්‍ය සහයෝගය මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලබාදිය යුතු බවද සභාපති විනිසුරුවරයා දැනුම් දී තිබෙනවා.
යාපනය ප්‍රදේශයේ කැලිකසල සහ පරිසරයට මුදා හැරෙන රසායනික අපද්‍රව්‍ය නිසා වායු දූෂණය සිදුවන බවත්, මෙම තත්ත්වය වැළැක්වීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසත් ඉල්ලමිනුයි අදාළ වෛද්‍යවරිය විසින් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ.











