ලංකා විදුලිබල සංශෝධන පනත ක්‍රියාත්මක කරමින් පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් 4කට සේවකයින් සම්බන්ධ කිරීම අරඹා ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගෙන් කොටසක් තමන් ඉහත පරිදි පිහිටුවන ආයතනවලට සම්බන්ධ වීමට කැමැත්ත පළ කරමින් ලිපි ලබාදීමටයි කටයුතු කළේ.
අද (22) පෙරවරුවේ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානයේ දී මෙලෙස කැමැත්ත පළ කිරීමේ ලිපි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති මහාචාර්ය උදයංග හේමපාල මහතාට ලබා දුන්නා.
2025 අංක 14 දරණ ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනත අනුව පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ජාතික පද්ධති පාලන (පුද්) සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම් (පුද්) සමාගම, විදුලිබල බෙදාහැරීමේ ලංකා (පුද්) සමාගම සහ විදුලි ජනන ලංකා (පුද්) සමාගම යන සමාගම් 04කට ඒ අනුව ඉහත සේවක පිරිස් සම්බන්ධ කරනු ඇති බවයි වාර්තා වන්නේ.
බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ රටේ සංවර්ධන ඉලක්ක හා සමගාමීව විදුලිබල ක්ෂේත්රය සංවර්ධනය කිරීමට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් ක්‍රියාත්මක ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ ප්‍රසාදයට ලක්වෙමින් තිබෙන බව මේ අනුව පෙනෙන්නට ඇති බවයි.











