කුරුණෑගල – මැල්සිරිපුර – පන්සියගම නාඋයන ආරණ්‍ය සේනාසනයේ අපවත් වූ විදෙස් හිමිවරුන්ගේ දේහ පශ්චාත් මරණ පරීක්ෂණවලින් පසු අදාළ රටවලට වැඩමකරවීමට සැලසුම් කර ඇති බව ශ්‍රී කල්යානී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය කහගොල්ලේ සෝමවංශ හිමියන් පැවසුවා.
එමෙන්ම, අනතුරින් අපවත් වූ භික්ෂූන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයන් හෙට පස්වරු 01.30ට ආරණ්‍ය සේනාසනයේම සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.
පෙරේදා රාත්‍රියේ භික්ෂූන් වහන්සේ 13 නමක් කේබල් ආධාරයෙන් ගමන් කරන ඩක්කුව භාවිත කරමින් භාවනා කුටි වෙත වැඩම කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබූ අතර, එහි ගමන් කළ භික්ෂූන් වහන්සේ හත් නමක් අපවත් වුණා.
මෙම අනතුර සිදුව ඇත්තේ ඩක්කුවේ ආධාරකය යම් දෝෂයකට ලක්වී වේගයෙන් පහළට ඇදී යාමෙනුයි.
ධාරිතාව ඉක්මවා මෙම ඩක්කුවේ ගමන් කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
අදාළ ඩක්කුවෙහි උපරිම ධාරිතාව කිලෝ 500 ලෙස සටහන් වී තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ තවත් භික්ෂූන් වහන්සේ 06 නමක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර, උන් වහන්සේ දෙනමකගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
අපවත් වූ භික්ෂුන් වහන්සේ අතර විදේශීය භික්ෂූන් වහන්සේ තුන් නමක්ද සිටිනවා.
මේ අතර අනතුර සිදුවූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය ඊයේ මහව මහේස්ත්‍රාත් කංචනී සෙනෙවිරත්න විසින් සිදුකළ අතර ඇය නියෝග කළේ අනතුර සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.
ඒ සදහා යාන්ත්‍රික ඉංජිනේරුවරුන්ගේ සහය ලබාගන්නා ලෙසටද මහේස්ත්‍රාත්වරිය පොලිසියට දැනුම් දුන්නා.
එමෙන්ම මෙහිදී යම් අපරාධමය වරදක් සිදුවී ඇත්ද යන්න පිළිබඳවත් පූර්ණ විමර්ශනයක් සිදුකොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.
අනතුරින් අපවත් වී සිටින භික්‍ෂූන් වහන්සේගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණ පවත්වා ඊට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන් වශයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළා.










