උණුසුම් පුවත්විදෙස්

ගල්ෆ් අර්බුදය උච්චස්ථානයට… ඉරානයට වන්දි ඉල්ලමින් UAE දැඩි ස්ථාවරයකට

මැද පෙරදිග කලාපයේ උත්සන්න වී ඇති ආරක්ෂක තත්ත්වය අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) විසින් ඉරානයට එරෙහිව දැඩි ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. පවතින ගැටුමට විසඳුම් සෙවීමේ ඕනෑම සාකච්ඡාවකදී, ගල්ෆ් රාජ්‍යයන්ට සිදු වූ හානිය සඳහා ඉරානයෙන් වන්දි ලබාගත යුතු බව එරට ජනාධිපති අවධාරණය කර තිබෙනවා.

සිවිල් ප්‍රදේශ හා වැදගත් යටිතල පහසුකම් ඉලක්ක කර ගත් ප්‍රහාරයන් හේතුවෙන් ඇතිවූ විනාශය, අනාගත ගිවිසුම් තුළ අනිවාර්යයෙන්ම සාකච්ඡා කළ යුතු කරුණක් ලෙස UAE පෙන්වා දෙනවා. එමෙන්ම, එවැනි ප්‍රහාර නැවත සිදු නොවන බවට පැහැදිලි ආරක්ෂක සහතිකයක් ලබාදීමද අත්‍යවශ්‍ය බව ඔවුන් සඳහන් කර තිබුණා.

UAE හි ප්‍රකාශයන්ට අනුව, ගැටුම උත්සන්න වීමට පෙර ඉරානය විසින් තම අභිප්‍රායන් පිළිබඳව අසල්වැසි රටවල් රවටා ඇති බවටද චෝදනා එල්ල කර තිබෙනවා. මේ අතර, ඉරාන පාර්ශවය තමන් විසින් ගැටුම ආරම්භ නොකළ බවත්, තම රටද විශාල හානියකට ලක්ව ඇති බවත් ප්‍රකාශ කරමින්, අනාගත සාකච්ඡාවලදී වන්දි ප්‍රශ්නය දෙපාර්ශ්වයම සඳහා වැදගත් වනු ඇති බව සඳහන් කර තිබෙනවා.

තත්ත්වය තවත් උත්සන්න කරමින්, UAE විසින් ඉරාන වත්කම් විශාල ප්‍රමාණයක් අත්පත් කර ගැනීම හා ඉරාන පුරවැසියන්ට ලබාදී තිබූ පදිංචි බලපත්‍ර අවලංගු කිරීම වැනි පියවරයන් ද ගෙන ඇතැයි වාර්තා වන්නේ.

ඉදිරියටත් ගුවන් ප්‍රහාර තර්ජන පවතින අතර, එරට ආරක්ෂක පද්ධති සක්‍රීයව ක්‍රියාත්මක වන බව UAE ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා. ජනතාවට ගෘහස්ථව රැඳී සිටීමට උපදෙස් ලබා දී ඇති අතර, නිල තොරතුරු මාර්ගයන් පමණක් විශ්වාස කරන ලෙස ද ඉල්ලා තිබෙනවා.

සෞදි අරාබිය, ඊජිප්තුව සහ තුර්කිය ඇතුළු රටවල්, පකිස්ථානයේ පැවැත්වෙන විශේෂ සමුළුවකදී ගැටුම් අවම කිරීම සඳහා මාර්ග සාකච්ඡාවට බඳුන් කර තිබෙනවා. එහිදී, දිගුකාලීන සාමය සඳහා ඇති එකම විසඳුම සංවාදය බවත්, කලාපීය ස්ථාවරත්වය අත්‍යවශ්‍ය බවත් අවධාරණය කර තිබෙනවා.

Shares: