ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින මුල් නඩු වාර්තාව කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය (26) එහි රෙජිස්ට්‍රාර්වරයාට නියම කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ දීයි කැඳවනු ලැබුවේ.
එහිදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.
එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන අතුරින් සමහර ලේඛන මෙතෙක් පැමිණිල්ල විසින් තමන්ට ලබාදී නොමැති බවයි.
සාධාරණ නඩු විභාගයකට මුහුණදීම සඳහා එම ලේඛන ඉතා වැදගත් බවයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ.
ඊට ප්‍රතිචාර දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛනවලින් බොහොමයක් මේ වන විටත් ඔවුන් වෙත ලබාදී තිබෙන බව ප්‍රකාශ කළා.
එමෙන්ම ඔහු සඳහන් කළේ මෙතෙක් ලැබී නොමැති බවට විත්තිය විසින් සඳහන් කරන ලේඛන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා ලබාදිය හැකි ලේඛන කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවයි.
මෙම අවස්ථාවේදී විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන කඩිනමින් මීළඟ දිනට පෙර ඔවුන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසයි විනිසුරුවරිය පැවසුවේ.
ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දෙසැම්බර් මස 18 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළා.
ඊට අමතරව මෙම නඩුවට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින මෙම නඩුවේ මුල් නඩු ගොනුව මෙතෙක් තම අධිකරණයට ඉදිරිපත් වී නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරිය රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේ එම වාර්තාව වහාම තම අධිකරණයට කැඳවීමට පියවර ගන්නා ලෙසයි.
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කොට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබෙනවා.











