විශ්ව විද්‍යාල පද්ධතියේ පවතින ගැටලු විසඳීමට රජය මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් හෙට (30) වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.
එහි ලේකම් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා අද (29) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමිනුයි මේ බව සඳහන් කළේ.
එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුව බලයට පත්වී වසරක කාලයක් ගතවී ඇති නමුත් තවමත් රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඇති අර්බුදවලට විසඳුමක් ලැබී නොමැති බවත්, අද වනවිට රාජ්‍ය අධ්‍යාපනය කඩා වැටීමේ බරපතල අර්බුදයකට මුහුණදෙමින් සිටින බවයි.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය මේ වනවිට බරපතල තත්ත්වයක පවතින බවත්, පසුගිය වසර තුළ පමණක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ආචාර්යවරු 200ක පමණ පිරිසක් පිටවී ගොස් ඇතැයිද ඉලංගසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.










