දේශීය

ස්වාධින අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමේ සාකච්ඡාවක්

මෙරට යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ එක් පියවරක් ලෙස ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහන් කළේ එම කමිටුවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පැවති බවයි.

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට අදාළව මුලික සැලසුම් සකස් කිරීම පිළිබඳවයි මෙහිදි සාකච්ඡා වී ඇත්තේ.

එම අමාත්‍යාංශය සඳහන් කළේ එහි මුලික සංකල්ප පත්‍රිකාව කෙටුම්පත් කිරීමෙන් අනතුරුව මහජනතාවගේ සහ සිවිල් සංවිධානවල අදහස් ලබාගැනීමට නියමිත බවයි.

මෙම සාකච්ඡාව සඳහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, ගරු නීතිපති ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්, නීතිඥ රජිව් අමරසූරිය, ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න, ජනාධිපති නීතිඥ යූ.ආර් ද සිල්වා යන මහත්ම මහත්මීන් ජ්‍යේෂ්ඨ නීතිඥවරුන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

Shares: