2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම නොවැම්බර් 4 වනදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හා බෙදාහැරීම විභාග ප්‍රශ්නපත්‍රවලට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර් හෝ අත් පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම මෙලෙස තහනම් වන බවයි.
යම් අයෙකු හෝ ආයතනයක් මෙම නියෝග නොසලකා කටයුතු කරන්නේ නම් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවකු වන බව ද ඔවුන් දන්වනවා.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළැඹෙන 10 වැනිදා සිට දෙසැම්බර් මස 5 වැනි දින දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362ක උසස් පෙළ විභාගය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.
මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 246,521ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004ක් ඇතුළුව සම්පූර්ණ අයදුම්කරුවන් 340,525ක් පෙනී සිටිනවා.
විභාගය සඳහා වූ පාසල් අයදුම්කරුවන් මෙන්ම පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර මේ වන විට ලබා දී අවසන් බවත්, යම් අයෙකුට ප්‍රවේශපත්‍රය නොලැබුණේ නම් අද දින සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ලබා ගත හැකි බවයි ඇය ප්‍රකාශ කළේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විභාග කොමසාරිස්වරිය කියා සිටියේ,
“මේ වෙනකොට දරුවන් විශය නිර්දේශය අවසන් කරලා විභාගයට සූදානම් වෙලා ඉන්න මොහොතේ ඉතාම හොඳ මානසික තත්ත්වයෙන් විභාගයට සූදානම් වෙන්න කියලා මම ඉල්ලනවා. ප්‍රශ්න පත්‍රවල කිසිදු වෙනසක් නැහැ. පසුගිය වසර ආකාරයටම තමයි. ඒ නිසා ඔබට ලැබී ඇති කාලසටහන අනුව විභාගය සඳහා මනා ලෙස සූදානම් වෙලා හොඳ මානසික තත්ත්වයක් සහිතව සන්සුන්ව ඔබට ලැබෙන ප්‍රශ්න පත්‍රයට නියමිත කාලය තුළ ඔබ ප්‍රශන පත්‍රය මැනවින් කියවා පිළිතුරු සංවිධානය කරගෙන පිළිතුරු සපයන්න කියලා දරුවන්ගෙන් මම ඉල්ලා සිටිනවා.
දෙමාපියන්ටත් කියන්න තියෙන්නේ මේ දරුවන් පාසල් දිවියේ අවසාන වසරේ පවත්වන විභාගය. මේ විභාගය දරුවන්ගේ ජීවිතයට ගොඩක් වැදගත් විභාගයක්. ඒ නිසා මේ විභාගයේදී දරුවන්ට පීඩනයකින් තොරව විභාගයට මුහුණ දීමට නිවසේ පරිසරයත් මනා ලෙස සකස් කරලා දරුවන්ට පීඩනයක් ඇති නොවන ආකාරයට විභාගයට සන්සුන්ව මුහුණ දෙන්න අවශ්‍ය කරන පරිසරය සකස් කර දෙන්න කියලා මම ආදරණීය දෙමාපියන්ගෙන් ඉල්ලන්නේ.”
යනුවෙන්.










