දේශීය

දෙහිවල වෙඩි තැබීමේ සිද්ධියේ පැදිකරු අත්අඩංගුවට

දෙහිවල දුම්රියපොළ පාර අසළ සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී මෝටර් රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙඩි තැබීම සඳහා පැමිණි යතුරු පැදිය පදවාගෙන ආ පැදිකරුයි.

ඔහු සන්තකයේ තිබී කඩු පහක්, කිනිස්සක් හා රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 50ක් පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන බඩෝවිට අසංකගේ සමීප ඥාතියකු වන ව්‍යාපාරික බස් අසිත නැමැත්තා ඉකුත් ජූලි මස 17 වෙනි දිනයි සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට සිය මෝටර් රථය තුළ සිටියදීම වෙඩි තබා ඝාතනය කෙරුණේ.

එහි වෙඩික්කරු වන පොලිස් විශේෂ කාර්යබලකායේ හිටපු සෙබළා, කහතුඩුව පොලිස් වසමේ පාලාගම ප්‍රදේශයේ කුරුඳු ඉඩමක වාඩියක සැඟව සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත් වුණා.

අත්අඩංගුවට ගත් පැදිකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී අනාවරණය වී ඇත්තේ බස් අසිත නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සංවිධානාත්මක අපරාධකරු සහ මත් ජාවාරම්කරුවෙකු බව කියන කොස් මල්ලි නැමැත්තා තමන් වෙත රුපියල් ලක්ෂ 7කට ආසන්න මුදලක් ද ලබා දුන් බවයි.

එමෙන්ම එම මුදලින් එකවර රුපියල් තුන් ලක්ෂ පනස්දහසක් තම ගිණුමට බැරකළ බවත් අනතුරුව වරින් වර ඉතිරි මුදල් ලබා දුන් බවත් සැකකරු පොලීසිය ඉදිරියේ පාපොච්චාරණය කර තිබෙනවා.

සැකකරු පදිංචි නිවස පරික්ෂා කිරීමේදී නිවස තුළ සඟවා තිබූ කඩු පහක් කිනිස්සක් සොයා ගැනීමට හැකිවූ බවත්, ඒ සම්බන්ධයෙන් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී බඩෝවිට අසංකගේ සමීපතමයෙකු වන බොරලැස්ගමුවේ දිනුක නමැත්තෙකු ආයුධවලින් කපා ඝාතනය කිරීම සඳහා කොස් මල්ලි නැමැත්තා විසින් ඔහු වෙත ආයුධ සැප වූ බවයි අනාවරණය වී ඇත්තේ.

වැඩිදුර ප්‍රශ්න කිරීමවලදී හෙළි වී ඇත්තේ දෙහිවල වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව සැකකරු පදිංචි නිවස අත්හැර දමා දකුණු පළාතේ විවිධ ස්ථානවල සැඟව සිට ඇති බවයි.

මේ අතර අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත වනවා.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Shares: