උණුසුම් පුවත්

නීත්‍යානුකූල පාලනයේ සුරක්ෂිතභාවය උදෙසා තැබූ පියවර ආපසු හරවන්නේ නෑ – ජනපති

නීත්‍යානුකූල ව්‍යවස්ථාපිත පාලනයේ සුරක්ෂාව උදෙසා තැබූ පියවර ආපසු නොහරවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී මහා සංඝරත්නය ඉදිරියේ පැවසුවා.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක ධුරයට පත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් හට සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පූජෝත්සවයට එක්වෙමින්.

එමෙන්ම සමාජයට අලුත් හර පද්ධතියක් අවශ්‍යව ඇති බව ද පැවසු ජනාධිපතිවරයා ධනය හෝ නිලතල වත්මන් සමාජයේ උස් පහත් බව මනින තත්ත්වයට පත්ව ඇති බවයි කියා සිටියේ.

එහිදී ඔහු පැවසුවේ,

“එක පැත්තකින් ව්‍යවස්ථාවෙන් පිහිටවූ ආණ්ඩුවක් තියෙනවා. එතරම් බලවත් නොවුණත් මතුපිට ආණ්ඩුවේ සියලු අංග සහිත කළු පාලනයකුත් අපේ රටේ තියෙනවා. නීතියානුකූල පොලීසියක් තියෙනවා. කළු පාලනයටත් පොලීසියේ කට්ටියක් ඉන්නවා. දැන් අපි ඉන්නේ ද්විත්ව ආණ්ඩුකරණයේ. එකක් ජනතාව විසින් තෝරාපත් කරගත් ආණ්ඩුව. අනෙක අවිබලය විසින් නිර්මාණය කළ කළු පාලනය. අපි තීරණයක් ගත යුතුයි හාමුදුරුවනේ, එක්කෝ ඕන දෙයක් සිදුවුණාදේ කියලා කළු පාලනය තියෙද්දි අපේ පාලනය කරගෙන යන්න. එහෙම නැත්නම් ව්‍යවස්ථානුකූල පාලනය අතහැරලා අපි හැමෝම කළු පාලනයට යන්න ඕනේ. එහෙම නැත්නම් නීත්‍යානුකූල පාලනයේ සුරක්ෂිතභාවය උදෙසා කළු පාලනය අවසන් කළ යුතුයි. මම හිතනවා අපේ ආණ්ඩුව තෝරාගත්තේ ඒ පාර. ඒ සඳහා තැබු පියවර කිසිසේත්ම ආපසු අරන් නැති බව හාමුදුරුවන් වහන්සේලාට සපථ කරලා පවසනවා.”

යනුවෙනුයි.

Shares: