උණුසුම් පුවත්

බස් ගාස්තු කාඩ් මගින් ගෙවීම නොවැම්බර් 30 සිට

  • 2025 නොවැම්බර් 30 වන විට ටිකට්පත් යන්ත්‍ර සහිත බස් රථවල ගමන් ගන්නා මගීන්ට ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පත් මගින් ගෙවීම් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පැවසුවා.

    ඔහු මේ බව පවසා සිටියේ අද (08)පාර්ලිමේන්තුවේදීයි.

    එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ,

    ”බස් ටිකට් එකෙන් මාටියා ගහනවා කියන එක හරි ප්‍රසිද්ධ කාරණයක්. ලංකාවේ බස් කර්මාන්තය කරන්න බැරි එක ප්‍රධාන හේතුවක් ඒක. කිසිම ආදායමක් ගන්න බැහැ ව්‍යාපාරිකයාට. ඒ නිසා ලොකු ඉල්ලීමක් තියෙනවා පෞද්ගලික බස් හිමියන්ගේ බස් සංගම්වල අපිට කාඩ් පේමන්ට් සිස්ටම් එකක් හදන්න කියලා. ඉතින් ගොඩාක් අය ඕක වටේ ගිහිල්ලා තිබුණා මේ වෙනම ට්‍රාන්ස්පෝට් කාඩ් හදන්න. ඒක කරදරකාර වැඩක් සහ ඒක පරණ වැඩක්.

    අපි ඒ නිසා බලාපොරොත්තු වෙනවා නොවැම්බර් 30 වෙනකොට ලංකාවේ දැනට බස් ටිකට් යන්ත්‍ර තියෙන බස් එකට ඕනම මගියෙක්ට පුළුවන් තමන්ගේ තියෙන ලංකාවේ භාවිත කරන්න පුළුවන් බැංකු කාඩ්පතක් භාවිත කරලා ටිකට්ක ගන්න. එතකොට අහයිනේ හැම කෙනාට කාඩ් තියෙනවද? හැම කෙනාට බැංකු කාඩ් තියෙනවාද? ඒක ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන් රුපියල් දෙයි. ටික දවසක් යන කොට ඒගොල්ලෝ පුරුදු වෙයි.

    මට මතකයි ඊ චැනලින් පටන් ගත්ත මුල් කාලේ මිනිස්සු ඕවට එක එක ඒවා කිව්වා. දැන් මං හිතන්නේ කවුරුවත් නවලෝකයට ගිහිල්ලා, ආසිරි එකට ගිහිල්ලා, උදේ හතරේ ඉඳන් පෝලිමේ ඉඳලා කවුරුත් උත්සාහ කරන්නේ නෑ. ඉතින් ඒ නිසා ඕනම දෙයක් රටකට කරනකොට පොඩි කාලයක් ගිහිල්ලා කරයි.”

    යනුවෙනුයි.

Shares: