2025 වසරේ මුල් මාස 08 තුළ අතදරුවන් සමග බන්ධනාගාරගත කළ කාන්තාවන් සංඛ්‍යාව 38ක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවා.
බන්ධනාගාරගත කළ කාන්තාවන් සමග කුඩා ළමයින් 38 දෙනෙකු බන්ධනාගාරය තුළ සිටින බවයි අද (08) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරිය වෙත යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කර සිටියේ.
එම ළමුන් අතර පිරිමි ළමුන් 15ක් සහ ගැහැණු ළමුන් 23ක් සිටින බව ද අගමැතිවරිය ප්‍රකාශ කළා.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ, මව්වරුන් සමග බන්ධනාගාර ගතවන වයස 05ට අඩු දරුවන් රැකබලා ගැනීමට බන්ධනාගාර කාන්තා අංශ තුළ ළමා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවයි.
එම ළමා සුරැකුම් මධ්‍යස්ථාන අනෙකුත් රැඳවියන්ගෙන් වෙන්ව පිහිටා ඇති බවත්, ඒවා තුළ දරුවන්ට තම මව්වරුන් සමග කාලය ගත කිරීම අවස්ථාව ලාබාදී ඇති බවත් ඇය කියා සිටියා.
එමෙන්ම දෛනිකව රැඳවියන්ට ලබාදෙන ආහාර සලාකය මෙන් කුඩා දරුවන්ට අවශ්‍ය කිරිපිටි හා දිනකට සැහැල්ලු ආහාර ද්‍රව්‍ය බන්ධනාගාර ආයතනයේ සලාක අංශය විසින් ලබාදෙන බවයි දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිවරිය සඳහන් කළේ.
මීට අමතරව එම දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එතුමිය පැවසුවේ පෞද්ගලික ආයතනයක සම්පත් දායකත්වයෙන් දැනට වසර 10 පමණ කාලයක සිට මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවයි.
මේ අතර 2025 ජනවාරි 01 වනදා සිට අගෝස්තු 31 වනදා බන්ධනාගාර ගත වී ඇති කාන්තා රැඳවින් ගණන 425ක් බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා.











