ගල්කිස්ස අධිකරණය පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහරදුන් බවට වාර්තා වු සිද්ධියට සම්බන්ධ ජ්‍යේෂ්ඨ නීතිඥවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.
පොලිස් කොස්තාපල්වරයාගේ රාජකාරියට බාධා කිරීම හා තර්ජනය කිරීම සම්බන්ධයෙන් එම නීතිඥවරයා අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි අදාළ නීතිඥවරයාගේ නිවසට පොලිසිය පැමිණි අවස්ථාවේ ඔහු නිවසේ සිට නොමැති බවයි.
පසුගිය සිකුරාදා දිනයේ ගල්කිස්ස අධිකරණ භූමියෙන් නීතිඥවරයෙකුගේ මෝටර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහරදුන් බවටයි චෝදනා එල්ල වූයේ.
එම අවස්ථාවේ අදාළ නීතීඥවරයා තවත් ජ්‍යේෂ්ඨ නීතීඥවරයෙකු සමග පොලිස් කොස්තාපල්වරයාට පරුෂ වචනයෙන් බැනවදින වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූවා.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය ද නිවේදනයක් නිකුත් කර ඇති අතර අදාළ නීතීඥවරයා විසින් පොලිස්පතිවරයා සෘජුව අමතා සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවට අසත්‍ය මතයක් සමාජ ගතවෙමින් පවතින බවයි එහි දැක්වෙන්නේ.
කෙසේවෙතත් මෙම සිදුවීමට අදාළව එම නීතිඥවරයා සහ පොලිස්පතිවරයා අතර කිසිදු දුරකතන සංවාදයක් සිදු වී නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය එම නිවේදනයේ දැක්වෙනවා.
පොලිස්පතිවරයා අදාළ සිද්ධිය දැන ගැනීමෙන් අනතුරුව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට සිදුවීම් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීමට නියෝග කර ඇති අතර කිසිදු අවස්ථාවක සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට නියෝගයක් ලබාදී නොමැති බව සඳහන්.
එමෙන්ම පොලිස්පතිවරයා විසින් අදාළ නිලධාරින් දුරකතනයෙන් සම්බන්ධ වන අවස්ථාව වනවිට සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබු බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධියට අදාළ නඩු විභාගය අද දිනයේ යළි කැදවීමට නියමිතයි.











