සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීක ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරියක් ලෙස අවශ්‍යව සිටී ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ මෙරට විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් රාජතාන්ත්‍රීක අනුග්‍රහය යටතේ එරටදී සිදුකළ මෙහෙයුමකින් අනතුරුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කළේ අද (14) දහවල් කාලයේ පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
පොලිස්පතිවරයාගේ ඍජු මැදිහත්වීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ පොලිස් කණ්ඩායමක් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ඇය නේපාලයේ දී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියේ.
ඉෂාරා සෙව්වන්දි සමඟ තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර, මෙහිදී තවත් කාන්තාවක් හා කෙහෙල්බද්දර පද්මේගේ සමීපතයන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පිරිස අතරට ඉෂාරා සෙව්වන්දිට රැකවරණය දුන් ද්‍රවිඩ පුද්ගලයෙකු ද අයත්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ බොහෝදුරට එම අපරාධකරුවන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි.
ඉෂාරා සෙව්වන්දිට ශ්‍රී ලංකා පොලීසිය විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබුණු බවද වුට්ලර් මහතා මෙහිදී කියා සිටියා.
සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව ඉකුත් පෙබරවාරි 19 වනදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩිතබා ඝාතනය කරනු ලැබූ අතර, කෙහෙල්බද්දර පද්මේගේ පාර්ශ්වය විසිනුයි අදාළ ඝාතනය සිදුකර තිබුණේ.
ඝාතනය සිදුකළ වෙඩික්කරු බවට පැවසෙන සමිඳු දිල්ෂාන් පියුමංග නැමැත්තාව එදිනම පුත්තලම, පාලවිය ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගත් අතර, අනතුරුව විමර්ශන නිලධාරීන් අධිකරණ සංකීර්ණයේ පිහිටි CCTV කැමරා පරීක්ෂා කළ අතර එහිදී කාන්තාවක් ද වෙඩික්කරුගේ සහායට පැමිණ ඇති බවට අනාවරණය වූවා.
ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිව තිබුණේ අදාළ කාන්තාව මිනුවන්ගොඩ පදිංචි ඉෂාර සෙව්වන්දි නම් තැනැක්තියක බවත්, ඇය නීති ක්ෂේත්රයේ භාවිත කරන පොතක් තුළ වෙඩිතැබීම සඳහා භාවිත කළ ගිනිඅවිය රැගෙන විත් ඇති බවටයි.
එහිදී එම අපරාධය සිදුකර ඉෂාරා සෙව්වන්දි මිද්දෙණිය ප්‍රදේශයෙන් ඉන්දියාවට පලා ගොස් ඇති අතර, එයට JK බායි නැමැත්තා උපකාර කර ඇති බවටයි වාර්තා වන්නේ.
ඇය රු ලක්ෂ 65ක් පමණ වියදම් කර ඉන්දියාවට පලාගොස් එහි සති තුනක පමණ කාලයක් රැඳී සිට තිබෙනවා.
ඉන් අනතුරුව ඉෂාරා බස්වලින් සහ දුම්රියෙන් පලාගොස් නේපාලයට ළඟා වී ඇත්තේ දින 7කට පසුවයි.
පසුව නේපාලයේ කඳුකර ප්‍රදේශයක තට්ටු නිවසක ඉහළ මහලේ රැඳී සිටිය දී ඊයේ මෙලෙස අත්අඩංගුවට පත්ව තිබුණා.
එමෙන්ම මෙහිදී අනාවරණය වී ඇත්තේ ඉෂාරා සෙව්වන්දිට ආදේශකයක් ලෙස යොදා ගත් වෙනත් කාන්තාවක් සඳහා ද විවිධ රටවලට පලා යෑමට හැකි වන අයුරින් පාස්පෝට් සකස් කර ඇති බවටයි..
මේ අතර, රටින් පලා ගොස් සිටින අපරාධකරුවන් 40 දෙනෙකුට මේ වනවිට රතු නිවේදන නිකුත් කර ඇති බවත් පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ අතරින් මේ වනවිට අපරාධකරුවන් 18 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීමට මෙම වසර තුළ කටයුතු කර ඇතැයි ද කියා සිටියා.











