පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නිකුත් කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 24 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
මෙම පෙත්සම අද (14) මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි කැඳවනු ලැබුවේ.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටියා.
ඒ අනුව විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 24 වනදා කැඳවන ලෙසයි.
සමාජ හා සාමයික කේන්ද්‍රියේ අධ්‍යක්ෂ රොහන් සිල්වා පියතුමා සහ අදාළ ප්‍රහාරයේ වින්ඳිත පුද්ගලයෙකු වන සුරාච් නිලංග විසිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම මගින් එවක රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත් කර තිබෙන බවයි.
එහෙත් එම නිර්දේශය මෙතෙක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන නොමැති බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.
ඒ අනුව අදාළ නිර්දේශ ක්‍රියාවට නංවන ලෙස පොලිස්පතිවරයාට සහ නීතිපතිවරණයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලායි මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.











