සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන සංජීව කුමාර සමරරත්න නොහොත් “ගණේමුල්ල සංජීව” ඝාතනයේ ප්රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් පස්දෙනා දිවයිනට රැගෙන ඒමට සහාය වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙදෙනෙකු නේපාලය බලා පිටත්ව ගොස් තිබෙනවා.
මේ වන විට අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු නේපාලයේ රැඳී සිටින අතර ඔවුන්ට සහාය වීම සඳහා මෙම නිලධාරීන් දෙදෙනා පිටත්ව ගොස් ඇති බව සඳහන්.
නේපාල ආරක්ෂක අංශ සමග සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් නේපාලයේ කත්මන්ඩු නුවර සිට කිලෝ මීටර් 18ක පමණ දුරින් වු නිවසක රැඳී සිටිය දීයි ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ.
සෙව්වන්දිට අමතරව අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් 5 දෙනා අතර කාන්තාවක් ද වන අතර ඇය ඉෂාර සෙව්වන්දිගේ රුවට සමාන රුවකින් සමන්විත බව වාර්තා වනවා.
අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර “කෙහෙල්බද්දර පද්මේ” නැමැති අපරාධ කල්ලි නායකයාගේ සමීපතමයෙකු ද සිටින බවයි පැවසෙන්නේ.
පසුගිය පෙබරවාරි 19 වන දින නඩු කටයුත්තක් සඳහා අලුත්කඩේ අධිකරණය වෙත පැමිණි “ගණේමුල්ල සංජීව” එම අධිකරණ සංකීර්ණය තුළ දී වෙඩිතබා ඝාතනය කර තිබුණා.










