මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් 12 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (15) නියම කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේදියි කැඳවනු ලැබුවේ.
එහිදී පැමිණිල්ල විසින් නඩුවට සම්බන්ධ ලේඛන කිහිපයක් විත්තියේ නීතීඥවරුන් වෙත විවෘත අධිකරණයේදී ලබා දුන්නා.
ඒ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම නඩුවට අදාළ තවත් ලේඛන සමහරක් කඩුවෙල උසාවියේ විත්තිකරුට එරෙහිව ගොනු කර ඇති නඩුවක ඇති බවයි.
ඒවා පරීක්ෂා කිරීමට අවශ්‍ය බවත් ජනාධිපති නිතීඥවරයා අධිකරණය හමුවේ දැන්වූවා.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා එම ලේඛන පරීක්ෂා කිරීම සඳහා නඩුව කැඳවීමට දිනයක් ලබා දෙන ලෙසයි ඉල්ලා සිටියේ.
ඒ අනුව මෙම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දිනයක් ලබා දෙන ලෙසත්, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීම් කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නියෝග කළේ නඩුවට අදාළ ලේඛන පරීක්ෂාව සඳහා මෙම නඩුව නොවැම්බර් 6 වැනිදා කැඳවන ලෙසයි.
ඉන් අනතුරුව නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුව නොවැම්බර් 12 වැනිදා කැඳවන ලෙසත් නියෝග කළා.
රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසිනුයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.











