දේශීය

අදත් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි..

 

පවතින අධික වර්ෂාව හේතුවෙන් අදත් (19) ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබෙනවා.

පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කිරීමට පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබුණා.

එහි තත්පරයකට ඝණ අඩි 5,190 බැගින් වූ ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශයට මුදාහැරිමින් පවතින බවයි සඳහන් වන්නේ.

මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ ආශ්‍රිතව පවතින අධික වැසි හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනයට මෙසේ අද දිනයේදී වාන් දොරටු 04 ක් විවෘත කළ බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර කලා වැවේ වාන් දොරටු 02ක් ද මේ වන විට අඩි දෙක බැගින් ඔසවා ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, කලා වැවෙන් කලා ඔයට තත්පරයට ඝන අඩි 3,447ක ජල ධාරිතාවයක් පිට කරනු ලබන බව වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේ.

එමෙන්ම දඹුලු ඔය ඇතුළු ඉහළ ජල පෝෂක ප්‍රදේශවල සිට කලා වැවට තප්පරේට ගණ අඩි 4,545ක ජලධාරිතාවයක් ලැබෙමින් පවතින බව කලාවැව සහ බෝවතැන්න ජලාශ භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළා.

එමෙන්ම රාජාංගනය ජලාශයේ ද මේ වන විට වාන් දොරටු හයක් විවෘත කර තිබෙනවා.

එයින් තත්පරේට ගණ අඩි 4,990ක් කලාඔයට මුදා හරිමින් පවතින බවයි වාර්තා වන්නේ.

 

Shares: