දේශීය

දිවයින පුරා ඩෙංගු රෝගීන් 40,633ක් – මරණ 22ක්

2025 වසරේ ජනවාරි මස සිට ඊයේ (20) දිනය දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 40,633ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ, ප්‍රජාව වෛද්‍ය විශේෂඥ ප්‍රෂීලා සමරවීර මහත්මිය පවසනවා.

ඉන් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි අද (21) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරිය ප්‍රකාශ කළේ.

එමෙන්ම වැඩි අවදානමක් ඇති දිස්ත්‍රික්ක 11ක් හඳුනාගෙන ඇති අතර කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, මාතර, යාපනය, මඩකලපුව, කුරුණෑගල, රත්නපුර සහ කෑගල්ල එම දිස්ත්‍රික්ක අතරට ඇතුළත්.

මේ අතර, එම කාලය තුළ මරණ 22ක් වාර්තා වී ඇති අතර වැඩිම මරණ වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රක්කයෙන් බවයි වෛද්‍යවරිය කියා සිටියේ.

ඇය පවසන පරිදි වැඩි වශයෙන් මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇත්තේ පාසැල් පද්ධතිය, රජයේ ආයතන, ආගමික ස්ථාන සහ අතහැර දමා ඇති ඉඩම් සහ ගොඩනැගිලියි.

එබැවින් හැකි පමණින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට සහ වටපිටාව පිරිසිදුව තබා ගැනීට කටයුතු කරන ලෙස වෛද්‍යවරිය ඉල්ලා සිටිනවා.

එමෙන්ම දින දෙකකට අධික කාලයක් උණ පවතීනම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු උපදෙස් පරිදි අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි සමරවීර මහත්මිය වැඩිදුරටත් මහජනතාවට අවධාරණය කළේ.

Shares: