අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත නිදහස් කරන ලෙස ඉල්ලා ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීමට සම්බන්ධ වූ බව කියන සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම ලබන 28 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
එහිදී එම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ලබන 28 වනදා ගොනුකරන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද (21) අල්ලස් කොමිසමට නියම කර ඇත්තේ.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් පවත්වා මේ වනවිට කොළඹ මහාධිකරණය හමුවේ සිය සේවාදායකයාට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබෙන බවයි.
එමෙන්ම මෙම සිද්ධියට අදාළව සිය සේවාදායකයා වසර දෙකක් පමණ රිමාන්ඩ් භාරයේ පසුවූ බවත් ඔහු පෙන්වා දුන්නා.
එසේ තිබියදී මෙම සිද්ධියට අදාළව “දූෂණය” නමැති වරද යටතේ සිය සේවාදායකයා යළි අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම යුක්ති සහගත නොවන බවයි එම නීතිඥවරයා ප්‍රකාශ කළේ.
මෙහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේ මෙම නඩුකරයට අදාළව තමන්ට නොතිසී ලැබී නොමැති බවයි.
ඒ අනුව මෙම පෙත්සම ලබන 28 වනදා කරුණු තහවුරු කිරීමට නියම කළ අතර එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසත් අල්ලස් කොමිසමට දැනුම් දුන්නා.











