ඉන්දියාවේ උත්තර් ප්රදේශ් ප්රාන්තයේ ශ්රාවස්ති දිස්ත්රික්කයේ හෝටලයක දී 71 හැවිරිදි ශ්රී ලාංකික කාන්තාවක් මියගොස් සිටියදී සොයා ගත් බව පොලීසිය උපුටා දක්වමින් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් වාර්තා කරනවා.
මියගිය කාන්තාව, සුනිල් ශාන්ති ද සිල්වා නමැත්තකුගේ බිරිඳ වන කෝදාගොඩ නම් අයකු බවයි එරට වාර්තා සඳහන් කළේ.
ඇය බෞද්ධ ස්ථාන වන්දනා කිරීමට සංචාරය කිරීම සඳහා කොළඹින් පැමිණි සංචාරකයින් 46 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක සාමාජිකාවක්.
සිද්ධිය වූ දින, එනම් පසුගිය බදාදා උදෑසන, ඇය දිගු වේලාවක් තම හෝටල් කාමරයෙන් පිටතට නොපැමිණීම නිසා සෙසු සංචාරකයින්ට සැකයක් ඇති වී තිබෙනවා.
ඔවුන් හෝටල් කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව කාමරය විවෘත කළ අතර, එහි මෙම කාන්තාව මියගොස් සිටියදීයි සොයා ගැනුණේ.
හෝටල් කාර්ය මණ්ඩලය කළමනාකරුට මේ බව දැනුම් දුන් අතර, පසුව ඔහු පොලීසිය දැනුවත් කළ බවයි විදෙස් වාර්තා පවසන්නේ.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි පොලීසිය සිරුර භාරගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර තිබුණා.
මේ පිළිබඳව දිල්ලියේ පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය ද දැනුවත් කර ඇති අතර ශ්රාවස්ති පොලිස් අධිකාරී රාහුල් භාටි පසුව ප්රකාශ කළේ, කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවල අපරාධකාරී ක්රියාවක සලකුණු නොතිබූ බවයි.
එය ස්වභාවික හේතුවක් මත සිදු වූ මරණයක් බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලක් ගොනු කර නොමැති අතර සංචාරක කණ්ඩායම මළ සිරුර ඔවුන් සමඟ රැගෙන ගොස් ඇති බවත් සඳහන්.











