දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගය දින 18කට පසු ගමනා ගමනය සඳහා අද (15) විවෘත කෙරුණා.
නාය යෑම නිසා මාර්ගයට වැටී තිබූ පස් ඉවත් කර මාර්ගය සකස් කර ඇති අතර, මාර්ගයට ඉහළින් පස්කන්ද නායයාමේ අවදානමක් පවතින නිසා ඒ සඳහා ස්ථිර විසදුම් ලබා දෙනතුරු ගමනාගමනයට හැකිවන ආකාරයෙන් ආරක්ෂිතව මාර්ගය නිර්මාණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ස්ථානයේ කටයුතු අවසන් වනතුරු සුපරීක්ෂාකාරී ලෙස මාර්ගයේ රිය ධාවනය කරවන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම මෙම මාර්ගයේ බර වාහන ධාවනයට ද යම් සීමා පනවා ඇති බව ද සඳහන්.
මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය, 06 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව, නාවලපිටිය හා ඇත්ගාල පොලිස් ස්ථාන, පස්භාගේ කෝරලේ ප්‍රාදේශීය සභාව ඇතුළු පාර්ශ්ව කිහිපයක සහභාගීත්වයෙන් සිදු කෙරුණා.
මාර්ගය විවෘත කිරිමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මිය ප්‍රකාශ කර සිටියේ පස්භාගේ කෝරලය තුළ ආපදාවට ලක් වූ මාර්ග බොහෝමයක් මේ වනවිට අලුත්වැඩියා කර අවසන් කර ඇති බවයි.
එමෙන්ම උලපනේ මහනුවර මාර්ගය, සතියකින් පමණ වැඩ අවසන් කර ගමනාගමනයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.










