දේශීය

‘රටම එකට’ ජාතික මෙහෙයුමේ දී ජනපතිගෙන් පොරොන්දුවක්

සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත්, ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ සමාරම්භයට එක්වෙමින්.

මත්ද්‍රව්‍ය රට වෙලාගත් මායාකාරී ව්‍යවසනයක් බවත් එය පරාජයට පත්කිරීමට තමා කටයුතු කරන අතර, දරුවන්, පොදු සමාජය හා ජාතිකයක් ලෙස මුළු මහත් රටම මෙම මායාකාරී ව්‍යවසනයේ ගොදුරු බවට පත්වෙමින් තිබෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියා.

මේ අතර තරුණ පරම්පරාව මත් උවදුරේ විශාලතම ගොදුර බවට පත්ව ඇතැයි ද සඳහන් කළ එතුමා මේ වනවිට ගම් නියම් ගම්කරා මෙම මායාකාරී කුණාටුව පැතිරෙමින් පවතින බවයි ප්‍රකාශ කළේ.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ,

“දරුවා බිහිවෙන මොහොතේ අම්මා තාත්තාගේ විශාල බලාපොරොත්තුවක් පොඳි බැඳුණා. හැබැයි තමන්ගේ ඇස් ඉදිරිපිට තමන්ගේ දරුවා විනාශයට පත්වෙමින් තිබෙනවා. අම්මා විශාල වේදනාවකට ලක්වෙමින් සමාජයෙන් කොන්වෙමින් තිබෙනවා.

අපිට මත්ද්‍රව්‍ය කිලෝ 800 – 900 හම්බවෙනවා. අපි තේරුම් ගන්න ඕනේ එන ඔක්කෝම අපි අල්ලලා නෑ. අල්ලනවා නම් එන්නේ නෑ. මේ නිසා ඔවුන් දන්නවා මේ අල්ලන ප්‍රමාණය එන ප්‍රමාණයෙන් සුළු ප්‍රමාණයක්. හැබැයි අත්අඩංගුවට ගන්න ප්‍රමාණයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ඒ සපයන ප්‍රමාණය මොන තරම් විශාලත්වයක් ඇත්ද කියා. කිලෝ 800 කෝටි 1500කට විකිණෙනවා. ඒ නිසා විශාල මුදල් ප්‍රමාණයක් මේ ව්‍යාපාරය හරහා ගොඩනැගිලා. එකවිට මහා කළු ව්‍යාපාර ගොඩනඟන ජාවාරමක් බවට මේ ව්‍යවසනය පත්වෙලා. ඔවුන් අතර මෙම වෙළෙඳපොළ බෙදාගැනීමට ගැටුම් නිර්මාණය වෙලා. මෑත කාලයේ වෙඩි තැබීම් සියල්ල එක් එක් කණ්ඩායම් අතර සිදුවීම්. තැන තැන වෙඩි තැබීම් සිදුවෙලා තියෙනවා. මේ සියල්ල මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වෙමින් සිදුවෙලා. ඒ තරම් වෙඩි උණ්ඩ, ගිනිඅවි, වෙඩිතැබීමේ ආරක්ෂාව කොහොමද නිර්මාණය වුණේ ? රටක ආරක්ෂාව වෙනුවෙන් ගොඩනැඟුණු රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙනවා. හැබෑමට සිදුව ඇත්තේ ඔවුන් සතුව ඇති මූල්‍යමය බලය මත රාජ්‍ය යාන්ත්‍රණය ආක්‍රමණය කරලා. ඒ නිසා තවදුරටත් මේ තත්ත්වය සඟවමින් මේ තත්ත්වයට මුහුණදෙන්න බෑ.

ඔවුන් අත ගිනිඅවි සැරිසරනවා. ඔවුන් ගිනිඅවි නිෂ්පාදකයෝ නෙමෙයි. බලපත්‍ර සහිත ගිනිඅවි ගැනීමේ බලය තියෙන්නේ රාජ්‍යයකට. රාජ්‍ය සතු ගිනිඅවි ඔවුන් අතට ගියේ කොහොමද? දැනට වාර්තා වුණා සමහර හමුදා කඳවුරුවලින් ටී 56 ගිනිඅවි 73ක් ඒ අය අතට ගිහින්. එයින් 35ක් අත්අඩංගුවට අරන් 38ක් ඔවුන් අත සැරිසරනවා. රජය සතු ආයුධ. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය උණ්ඩ අපි අත්අඩංගුවට ගත්තා.හමුදාවේ ප්‍රධාන කර්නල්වරයෙක් උණ්ඩ සපයලා තියෙනවා. ඒ වෙනුවට බැංකුවට මුදල් ඇවිත් තියෙනවා. රජය සතු ගිනිඅවි පොලීසියේ මහත්තයෙක් විකුණලා පලායනවා. ගිනිඅවි විකුණනවා. සන්නද්ධ කණ්ඩායම් සතු මුදල් බලය අපේ රාජ්‍ය යාන්ත්‍රණය ගිලගැනීමට සමත් වෙලා.”

යනුවෙනුයි.

Shares: