දේශීය

තවමත් බලය පිහිටුවා නැති සීතාවක ප්‍රා.ස. සභා වාරයක් ඉල්ලයි

මාස තුනකට අධික කාලයක් පුරාවට තවමත් පිහිටුවා නොමැති සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා සභා වාරයක් කැඳවන ලෙසට එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම ගැටලුව සම්බන්ධයෙන් සංදේශයක් මැතිවරණ කොමිෂන් සභාව, ආණ්ඩුකාර කාර්යාලය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත බාර දී ඇති බවයි වාර්තා වන්නේ.

සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට සමස්ත ආසන සංඛ්‍යාවෙන් 50% කට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට නොහැකි වුණා.

ඒ අනුව, 2012 අංක 22 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනතට අනුව සභාපති හා උප සභාපති තෝරා පත් කර ගැනීම සඳහා පසුගිය ජුනි මස 17 වන දින පළමු රැස්වීම කැඳවූ නමුත් එය කල් තැබුණේ තෝරා ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මතුවූ අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් සභාවේ ඝණ පූර්ණය නොමැතිවීමෙන්.

යළිත් වරක් ජූලි 15 වන දින දෙවන රැස්වීම කැඳවූ අතර, එහිදීද තෝරා ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මතුවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ සභාවේ ඝණ පූර්ණය නොමැතිවීම මත රැස්වීම කල් තැබුණා.

ඒ අනුව එදින සිට මේ දක්වා මාස තුනකට අධික කාලයක් ගත වී ඇතත්, සභාපතිවරයා හෝ උප සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රැස්වීමක් කැඳවීමට කිසිදු නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි මන්ත්‍රීවරුන් චෝදනා කරන්නේ.

එමෙන්ම මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියේ මෙම තත්ත්වය තුළ හැකි ඉක්මනින් සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හෝ උප සභාපතිවරයා තෝරා පත් කර ගැනීමට අදාළ සභා රැස්වීමක් කැඳවීමට අවශ්‍ය කඩිනම් නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

Shares: