දේශීය

මීනගයා දුම්රියේ ගැටී අලින් 7ක් මියයාමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ඉකුත් පෙබරවාරි මාසයේදී හබරණ ප්‍රදේශයේදී මීනගයා දුම්රියේ හැපී වනඅලි හත්දෙනෙකු මියයාමේ සිද්ධියට සම්බන්ධ 67 වියැති දුම්රිය රියදුරුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා පරිසර ක්‍රියාකාරිකයන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ දුම්රිය රියදුරන්ට එරෙහිව මෙතෙක් කිසිදු විනය පියවරක් ගෙන නොමැති අතර ඔහු මේ වනවිටත් අඛණ්ඩව සේවයේ යෙදී සිටින බවයි පෙත්සම්කරුවන් පෙන්වාදෙන්නේ.

වන අලින් දුම්රියේ ගැටී මියයාමේ සිද්ධි සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා එම දුම්රිය රියදුරුට සහ එම සිද්ධියට අදාළ සේවකයන්ට එරෙහි විනය පියවර ගන්නා ලෙස දුම්රිය බලධාරීන්ට නියම කරන ලෙස පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ පරිසර ක්‍රියාකාරීන් පිරිසක් වන කේ ප්‍රියදර්ශනී එස්.ආර්. අදිකාරම්, එල්.ඒ. ආර් චන්ද්‍රශාන්ත, අනූෂා ඩේවිඩ්, එල්.වී.ජේ.චන්ද්‍රශාන්ත යන අය විසින්.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා, ප්‍රවාහන සහ මාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා, වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, පරිසර ඇමතිවරයා, ප්‍රවාහන ඇමතිවරයා ඇතුළු දොළොස් දෙනෙක් මෙම පෙත්සමයෙහි වග උත්තරකරුවන් ලෙස නම්කර සිටියි.

පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ කොළඹ මඩකලපුව දුම්රිය මාර්ගයේදී ධාවනය වූ මීනගයා දුම්රියට ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා අලින් හත්දෙනෙකු ගැටුණු බවයි.

එම ස්ථානයේදීම අලින් හයදෙනෙකු මිය ගිය අතර තුවාල ලැබූ අලි පැටවකු පසුව මියගිය බව ද ඔවුන් පවසනවා .

එසේම මාර්තු මස තුන්වැනි දා, මැයි මස දෙවැනි දා සහ ඉකුත් අගෝස්තු මස 07 වැනිදා තවත් අලින් මෙලෙස දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් වූ බවයි පෙත්සම්කරුවන් විසින් පෙන්වා දී ඇත්තේ.

ඔවුන් චෝදනා කරන්නේ මෙලෙස දිනෙන් දින අලි මරණ, අලින් දුම්රියේ ගැටී සිදුවන මරණ ඉහළ ගියද එය වළක්වා ගැනීමට දුම්රිය බලධාරීන් මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද මෙතෙක් අසමත් වී ඇති බවටයි.

2023 වසරේදී අලි මරණ 488 ක් සිදුවී ඇති අතර ඉන් 24 ක් දුම්රිය ගැටී සිදුවූ ඒවා බවත්, 2024 වසරේදී අලි මරණ 386 ක් සිදුවී ඇති අතර ඉන් එකොළහක් දුම්රිය ගැටී සිදුවූ ඒවා බව ද පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.

එමෙන්ම ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ දිනෙන් දින ඉහළ යන අලි මරණ වළක්වා ගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග සහ පියවර සම්බන්ධයෙන් වන වාර්තාවක් මාස තුනක කාලයකදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට නියම කරන ලෙසයි.

එසේම විශ්‍රාම වයස ඉක්මවූ දුම්රිය රියදුරන් ගල්ඔය දුම්රිය හන්දියේ සිට මඩකලපුව දුම්රිය ස්ථානය තෙක් ධාවනය වන දුම්රියවලට සහ ගල්ඔය දුම්රිය හන්දියේ සිට ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයත් අතර ධාවනය වෙන දුම්රියන්හි සේවයේ යෙදවීමෙන් වළක්වන අතුරු නියෝගයක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත නිකුත් ලෙසද පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

Shares: