දේශීය

දිවි බේරාගත් ධීවරයින් 04දෙනා රැගෙන එයි

දෙවුන්දරින් මුහුදු ගොස් අනතුරට ලක්වී දිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා දින 13කට පසුව නාවික හමුදාව විසින් අද (31) අලුයම 5ට පමණ හම්බන්තොට වාරයට රැගෙන විත් තිබෙනවා.

ධීවරයින් 6 දෙනෙකු සමඟ මෙම බහුදින යාත්‍රාව ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණේ අගෝස්තු මස 31 වන දිනයි.

පසුව එම ධීවර යාත්‍රාව පසුගිය 16 වන දින සිට අතුරුදන්ව ඇති බවට ධීවර යාත්‍රාවේ හිමිකරු විසින් දැනුම්දී ඇති බවයි ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම යාත්‍රාව අනතුරට ලක්ව තිබුණේ මෙරට ගිනිකොන දිග මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 300ක පමණ දුරින්.

යාත්‍රාවේ සිටි ධීවරයින් 6දෙනාගෙන් එක් අයෙකු මුහුදට වැටී අතුරුදන්ව ඇති අතර, තවත් අයෙක් දින 11කට පමණ පසුව මියගොස් තිබෙනවා.

අනතුරට ලක් වූ යාත්‍රාව තුළ සිටි ධීවරයින් සිව්දෙනෙකු ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවක් මඟින් බේරාගෙන තිබුණේ අදාළ ධීවර යාත්‍රාව ආසන්නයෙන් ගමන් කරමින් තිබිය දීයි.

ඒ අනුව එම ධීවරයින් මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සිදුරළ නෞකාව පිටත්කර හැරීමට නාවික හමුදාව කටයුතු කර තිබුණා.

ඒ අනුව වෙළෙඳ නෞකාව විසින් රැගෙන එනු ලැබූ ධීවරයින් ලබාගැනීම සඳහායි විශේෂ නාවික කණ්ඩායමක් ඊයේ පිටත්කර යැවුණේ.

මෙලෙස අද උදෑසන හම්බන්තොට වරායට රැගෙන ආ ධීවරයින් සිව්දෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට යොමුකර තිබෙනවා.

ඒ අතරින් ධීවරයින් දෙදෙනෙකු දැඩි ලෙස දුර්වල තත්ත්වයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය එක් ධීවරයෙක් හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඊ.ඩී.ආර් නවෝදන වන අතර මියගිය අනෙක් පුද්ගලයා දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි එච්. එච්.ඒ.ඩි සුරංග යන අයයි.

පෝෂිත නිමන්ත, ශානක අමිල, ඕෂාන් මදුසංක, ධම්මික ලක්මාල් යන සිව්දෙනායි දිවි බේරාගෙන ඇත්තේ.

ඉන්දුනිසියානු නෞකාව විසින් මියගිය ධීවරයාගේ මෘත ශරීරය භාරගැනීමට කැමැත්ත පළ කර නොමැති වීම හේතුවෙන් එම මළ සිරුරු අතහැර දමා පැමිණ තිබෙනවා.

සිදුරළ නෞකාවේ කපිතාන් මහේෂ් කුලසිරි මහතා පවසා සිටියේ, අදාළ ධීවරයින් දින 13ක් පමණ මුහුදේ පාවෙමින් සිට ඇති බවයි.

Shares: