විදෙස්

දුම්රියක පිහි ඇනුමකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහලට

එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ්ෂයර් (Cambridgeshire) ප්‍රාන්තයේ ලන්ඩන් බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක සිදුවූ බිහිසුණු පිහි ඇනුමකින් පුද්ගලයන් නව දෙනෙකුට ජීවිතයට තර්ජනයක් වන බරපතල තුවාල සිදුව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙම පිහි ඇනුම් ප්‍රහාරයෙන් මුළු පුද්ගලයන් 10 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම කම්පන සහගත පිහි ඇනුම ඊයේ (01) සවස් වරුවේ කේම්බ්‍රිජ්ෂයර් හි හන්ටිංඩන් නගරය දෙසට ගමන් කරමින් තිබූ දුම්රියක සිදුවී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ ඩොන්කාස්ටර් (Doncaster) සිට ලන්ඩන් කිංග්ස් ක්‍රොස් (London King’s Cross) බලා ධාවනය වූ සවස 6.25 දුම්රිය සේවාවයි.

බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලිසිය (British Transport Police) වහාම ප්‍රතිචාර දක්වා ඇති අතර, කේම්බ්‍රිජ්ෂයර් පොලිසිය විසින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රෝහල් ගත කළ පුද්ගලයන් දස දෙනා අතරින්, නව දෙනෙකුට ජීවිතයට තර්ජනයක් වන තුවාල සිදුවී ඇති අතර මේ වන විට කිසිදු මරණයක් වාර්තා වී නැහැ.

බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලිසිය මෙම පිහි ඇනුම ‘ප්‍රධාන සිදුවීමක්’ (Major Incident) ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, ත්‍රස්ත-විරෝධී පොලිසිය ද ඔවුන්ගේ පරීක්ෂණ සඳහා සහාය දක්වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාමර් (Keir Starmer) මෙම සිදුවීම “භයානක” සහ “දැඩි කනස්සල්ලට කරුණක්” ලෙස හඳුන්වමින්, බලපෑමට ලක්වූවන් සමඟ තම අදහස් ඇති බවත්, හදිසි සේවාවන්ට ස්තූතිවන්ත වන බවත් සඳහන් කර සිටියා.

ප්‍රධාන අධිකාරී ක්‍රිස් කේසි (Chief Superintendent Chris Casey) මෙය “කම්පන සහගත සිදුවීමක්” ලෙස හඳුන්වමින්, සිදුවීමට හේතු පිළිබඳව අනුමාන නොකරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

ලන්ඩන් උමං මාර්ග සේවකයෙකු වන ඩීන් මැක්ෆර්ලේන් (Dean McFarlane) නම් ඇසින් දුටු සාක්ෂිකරුවෙකු පවසා ඇත්තේ, දුම්රිය පැමිණෙන විට ලේ ගලමින් සිටි මගියෙකු සිටි බවත්, ඉන්පසු දුම්රිය වේදිකාව දිගේ ලේ ගලන තවත් කිහිප දෙනෙකු දිව යන අයුරු දුටු බවයි.

Shares: