සිය ගැටලුවලට සාධාරණ විසඳුම් ලබා නොදුන් බවට සහ අයවැයෙන් ගොවියා නොසලකා හැර ඇතැයි චෝදනා කරමින් ගොවීන් අද (10) කෘෂි කටයුතුවලින් ඉවත්ව තිබෙනවා.
වැලිමඩ සහ ඌව පරණගම ඇතුළු ප්‍රදේශ රැසක ගොවීන්ගෙන් සැදුම්ලත් ගොවි සංවිධාන අද පෙරවරුවේ කැප්පෙටිපොළ නගරයේදී විරෝධතාවයක ද නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.
දේශීය අර්තාපල් සහ ලොකු ලූනු අස්වනු නෙලීම මේ වනවිට ආරම්භ කර ඇතත්, අර්තාපල් සහ ලොකු ලූනු සඳහා නිසි මිලක් නොමැති බවට පවසමින් ඉකුත් සති කිහිපයේම ගොවීන් මැසිවිලි නැගුවා.
ඔවුන් චෝදනා කළේ, තමන් අස්වනු නෙළන සමයේදීම අර්තාපල් සහ ලොකු ලූනු ආනයනය කිරීමෙන් රජය ගොවියා අසරණ කළ බවයි.
සිය අස්වනු අලෙවි කරගැනීම සහ ඒවාට මෙවර අයවැයේදී කෘෂි කෘෂිකර්මාන්තය සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමුකර නොමැති බවටයි ගොවීන් චෝදනා කර ඇත්තේ.
ඒ අනුව වැලිමඩ සහ නුවරඑළිය ප්‍රදේශවල ගොවි සංවිධානවලින් සැදුම්ලත් ”දේශයේ ගොවි හඬ” සංවිධානය ඊයේ පැවසුවේ ගොවි ගැටලුවලට මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් අද දිනයේ සියලු කෘෂිකාර්මික කටයුතුවලින් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බවයි.











