දේශීය

උසස් පෙළ විභාගය අවසන් වීමට පෙර ඇගයීම් අරඹනවා – විභාග දෙපාර්තමේන්තුව

මෙවර උසස් පෙළ විභාග කටයුතු අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය ප්‍රකාශ කළා.

ආරම්භ වු උසස් පෙළ විභාගයේ කටයුතු සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදීයි ඇය මේ බව කියා සිටියේ.

විභාග මධ්‍යස්ථාන 2,362කදී ඊයේ ආරම්භ කළ උසස් පෙළ විභාගයේ දෙවන දිනය අදයි.

එම විභාගය දෙසැම්බර් මස 05 වන දින දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 246,521 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004 දෙනෙකු පෙනී සිටිනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ,

”දිවයිනේ සියලුම විභාග මධ්‍යස්ථානවල කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි විභාගය පැවැත්වුණා. මේ වනවිට අපි සැලසුම් සකස් කරලා තියෙනවා විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට. දරුවන්ට දෙන්න තියෙන පණිවුඩේ තමා නියමිත කාලසටහන පරීක්ෂා කරලා බලලා විභාගය ආරම්භ වීමට පැයකට පෙර නියමිත විභාග මධ්‍යස්ථානයට යන්න. පැය භාගයකට පෙර තමන්ට නියමිත ස්ථානයේ අසුන් ගන්න. ප්‍රවේශ පත්‍රය රැගෙන යන්න.”

යනුවෙනුයි.

Shares: