ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින කාණ්ඩ කිහිපයක BYD වාහන තොගයක් බැංකු ඇපකර සහ සමාගම් ඇපකර මත මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද (11) අභියාචනාධිකරණය හමුවේ එකඟතාවය පළ කර තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම වාහන ආනයනය කළ පුද්ගලික සමාගම විසින් ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දීයි ශ්‍රී ලංකා රේගුව විසින් මෙම එකඟතාවය පළ කර සිටියේ.
ඒ අනුව ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටි ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දැනුම් දුන්නේ රේගුව භාරයේ රඳවා සිටි BYD ඇටෝ ප්‍රිමියම් කිලෝ වොට් 70, ඇටෝ ඩයිනමික් කිලෝ වොට් 45, ඇටෝ ප්‍රිමියම් කිලෝ වොට් 45, ඩොල්ෆින් ඩයිනමික් කිලෝ වොට් 70 යනාදී කාණ්ඩවලට අයත් වාහන 625ක් බැංකු ඇපකර හා සමාගම් ඇපකර මත මුදා හැරීමට එකඟ වන බවයි.
ශ්‍රී ලංකා රේගුව විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් මහත්මිය එකඟතාවය පළ කළා.
ඉන් අනතුරුව මෙම වාහන මුදාහැරීමට අදාළ නියෝග නිකුත් කෙරුණේ.










