ක්‍රීඩා

පාකිස්තාන සංචාරය සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ එකඟත්වය

පාකිස්තානයේ සංචාරයක නිරතව සිටින සමස්ත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එහි රැඳී සිටීමට එකඟ වූ බවට ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස්, රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න තහවුරු කරනවා.

ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් වහාම මෙරටට පැමිණීමට එරට රැඳීසිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඉල්ලා සිටීමත් සමඟයි ඊයේ (12) රාත්‍රියේ ඒ සම්බන්ධව උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා රජයේද මැදිහත්වීමෙන් පාකිස්තාන බලධාරීන් ක්‍රීඩකයන්ට උපරිම ආරක්ෂාව සහතික කිරීම නිසා සුපුරුදු පරිදි තරගාවලියට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙසේ එකඟතාව පළ කර තිබෙනවා.

ඒ අනුව එක්දින තරගාවලියේ දෙවැනි තරගය හෙට දිනයේත්, තුන්වැනි තරගය නොවැම්බර් 16 වැනිදාත් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියකට සහ ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 තරගාවලියකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදායි පාකිස්තානය බලා පිටත්ව ගියේ.

ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය පසුගිය අගහරුවාදා රාවල්පින්ඩි හිදී පැවති අතර එම තරගය ආරම්භ වීමට සුළු වේලාවකට පෙර ඉස්ලාමාබාද් නුවර බෝම්බ පිපිරීමක් සිදුවුණා.

ඉන් පුද්ගලයින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

අදාළ බෝම්බ පිපිරීම සිදුවී තිබුණේ තරගය පැවති රාවල්පින්ඩි නුවරට කිලෝමීටර 17ක දුරින්.

ක්‍රිකට් ආරංචි මාර්ග ඊයේ සඳහන් කළේ එම සිදුවීමත් සමග පාකිස්තානය තුළ ඇති ආරක්ෂාව පිළිබඳ ගැටලුකාරි තත්ත්වයක් ඇතිවිය හැකි බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 16 දෙනෙක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටි බවයි.

ඒ හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින තරගය වෙනුවෙන් ඊයේ පැවති පුහුණු සැසියටද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වී තිබුණේ නැහැ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට උපරිම ආරක්ෂාවක් ලබාදී ඇති අතර ආරක්ෂාව පිළිබඳ කිසිඳු ගැටලුවක් නොමැති බවයි ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලියේ විස්තර විචාරයට එක්ව සිටින ප්‍රවීණ විස්තර විචාරක රොෂාන් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ.

මේ අතර ක්‍රීඩකයින් නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණීමට ඉල්ලා ඇති බව කණ්ඩායම් කළමනාකාරිත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැන්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමග අදාළ ගැටලුව පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.

ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අදාළ සාකච්ඡාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපරිම ආරක්ෂාව තහවුරු කිරීමටත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිදුකළ ඉල්ලීම් කිහිපයකට එකඟතාව පළකිරීමටත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය කටයුතු කළ බවයි.

අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට සැලසුම් කළ පරිදි තරගාවලියට සහභාගිවන ලෙස දැන්වූ බවද අදාළ නිවේදනයේ සඳහන්.

එවන් පසුබිමක කිසියම් ක්‍රීඩකයෙක් හෝ පුහුණුකරුවෙක් නැවත දිවයිනට පැමිණියොත් ඒ සඳහා අතිරේක ක්‍රීඩකයින් තරගාවලියට යොමු කිරීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී තිබෙනවා.

එමෙන්ම එලෙස යම් ක්‍රීඩකයෙක් නැවත ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඔහුට වසර දෙකකට වැඩි කාලයක් සඳහා ක්‍රිකට් තහනම් කිරීමට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

Shares: