උණුසුම් පුවත්

අයවැය දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම අදයි

අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (14) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ අද පස්වරු 6ට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි.

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය දෙසැම්බර් මස 5 දක්වා පැවැත්වෙනු ඇති.

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වෙන බවයි.

මේ අතර අද දිනයේ අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ජන්ද විමසීමේදී ඊට එරෙහිව ජන්දය ප්‍රකාශ කරන බව විපක්ෂය පවසනවා.

මෙවර අයවැය ජනතාවට සහන නොදුන් අයවැයක් හේතුවෙන් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා කියා සිටියේ.

එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ සමගි ජන බලවේගයද අයවැයට විපක්ෂව ජන්දය ප්‍රකාශ කරන බවයි.

Shares: